0 Views  
සාක්කුවේ හිලක්




“රුපියල් දහයක් දුන්නම ඉතුරු රුපියල කවදාකවත් අපිට ලැබෙන්නෙ නෑ. ඔහෙලා පුරුදු වෙලා ඉන්නෙම මාරු කාසි නොදී මඟ හරින්ඩ නේද? අද නං මට ඉතුරු රුපියල ඕනෙමයි.” බස් කොන්දොස්තරවරයා ඉතිරි රුපියල නොදීමෙන් කෝප වූ කුසුමාවතී ඉස්කෝලෙ හාමිනේ දැඩි ස්වරයකින් කීවාය.

“මාරු සල්ලි අතේ නැති හින්දයි නෑ කිව්වේ.” කොන්දොස්තර තම දෑත් විදහා දක්වමින් කීවේය.

“අතේ නැතිවුණාට ඔය සාක්කුවල නැතැ එකතු වෙන මාරු කාසි.” ඉස්කෝල හාමිනේ නැවතත් කීවාය.

“එහෙනං ඔහේම ඔය සාක්කු අවුස්සලා බලලා රුපියලක් හොයා ගන්න එකයි ඇත්තෙ? හැබැයි ඔය සාක්කු දෙකෙන් එකක ලොකු හිලක් තිබුණා නෝනෙ.” කොන්දොස්තර සමච්චල් ස්වරයකින් කීවේය.

එහෙම පොරොන්දු වුණේ නැහැ

ඇය චිත්‍රපට නිළියකි. ව්‍යාපාරිකයකු වූ තම සැමියාගෙන් දික්කසාද වීම සඳහා පවරා තිබූ නඩුව විභාගයට ගත් අවස්ථාවේ විනිසුරුවරයා දෙස බලා පැමිණිලිකාරිය මෙසේ කීවාය.

“මට තවදුරටත් මොහු සමඟ එකට පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ ස්වාමිනි. ගිය සුමානෙ මම රඟපාන චිත්‍රපටයක් බලන්ඩ අපි දෙන්නා ගියා. මම රඟපාන දර්ශන තිරයේ පතිත වෙන කොට මෙයා ගොරවා ගොරවා නිදි.”

“තමා මොකද ඒ ගැන කියන්නෙ?” විනිසුරුවරයා වගඋත්තරකරු දෙස බලා විමසීය.

“මෙයා ඉන්න චිත්‍රපට බලද්දි නිදා ගන්නෙ නැහැයි කියල කසාද බඳින්ඩ කලින් මම මෙයාට කිසිම දවසක පොරොන්දු වුණේ නැහැ ස්වාමිනි.” වගඋත්තරකරු හිස නමා කීවේය.

අපිත් ඒ වගෙ තමයි

“මම නීතිඥයෙක්. මේකේ වැරැද්ද හොඳටම තේරෙන හින්දයි මෙහෙම අහන්නෙ. තමුසෙලා දෙන්නා ඔය කෝට් දා ගත්තෙ ටික්කෝ ඇති කියල හිතෙන ටවුන් එක ළංවෙද්දි නේද?” බස් රථයක ගමන් කරමින් සිටි සේනාරත්න එහි රියැදුරු සහ කොන්දොස්තර දෙස බලා ඇසුවේ තරමක දැඩි ස්වරයකිනි.

“දැන් සර්ලා උසාවි යද්දිත් නීතිඥ කබාය ඇඟට දා ගත්තෙ නඩු අහන ශාලාව කිට්ටු වෙද්දි නේද? අපිත් ඒ වගෙ තමයි.” කොන්දොස්තර කීවේ සමච්චල් සිනාවක් නඟමිනි.

එතකොට එළිය වෙයි

“ඔයාට විතරයි මගේ ජීවිතේ එළිය කරන්ඩ පුළුවන් රත්තරන්.” විහාරමහා දේවි උද්‍යානයේ හුදෙකලා ස්ථානයක බංකුවක් මත වාඩිවී සිටියදී මන්දිරා කීවේ චමිලගේ සුරත තරයේ වැලඳ ගනිමිනි.

“ඒ ගැන ඔයා බය වෙන්ඩ ඕනෙ නැහැ කෙල්ලේ. අපේ පළාතේ නිතර ලයිට් යන හින්දා මම ලී මෝලේ වැඩටත් එක්ක ළඟදීම ලයිට් එන්ජිමක් ගන්ඩයි ඉන්නෙ.” චමිල තම පෙම්වතියට තව තවත් කිට්ටු වෙමින් කීවේය.

ඒ වගේ ද?

“කවුරු, මොන චෝදනා අපිට විරුද්ධව කළත් අපි කීයටවත් මේ රට කෑලි කෑලිවලට කඩන්න ඉඩ දෙන්නෙ නැහැ.” සතියේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු වෙතින් තමාට යොමු වුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිතුමා එසේ ප්‍රකාශ කළේ ආවේගශීලීවය.

“හරියට සෙංකෝලෙ වගේද ඇමැතිතුමා.” මාධ්‍යවේදියා නැවතත් ඇසුවේ සවඥා ස්වරයකිනි.

එහෙම හොඳයි නේද?

“පුතා, තව මාස කීයද විභාගෙට තියෙන්නෙ. ඔය කඩුල්ල පැනගත්තෙ නැත්තං අනාගතයක් නැහැ. ඒ හින්දා ඔය සෙල්ලම් ඔක්කොම නවත්තලා අද ඉඳලා සම්පූර්ණයෙන්ම විභාගෙට යොමු වෙන්න ඕනෙ. තේරුණා නේද?” මව තම පුතා හමුවේ කීවේ රළු ස්වරයකිනි.

“අයියෝ මොකටද අම්මේ මුහුද හත්ගව්වක් දුර තියෙද්දි දැන්ම අමුඩ ගහන්නෙ? අම්මා තාත්තට කියන්ඩකො මම විභාගෙට උත්තර ලියන්ඩ චීනෙන් ස්පෙෂල් මෙෂින් එකක් ඕඩර් කරන්ඩ කියල. ඒ මෙෂින් එක ලංකාවට ගෙනාවට පස්සෙ අපේ ටියුෂන් සර්වත් අල්ලගෙන දවස් දෙකක් රිහසල් කළාම ඇති, ප්‍රශ්න ටික ගෙදරට එවන්නෙ, ඒවට හරියන උත්තර මට කියන්නෙ කොහොමද කියල. එහෙම හොඳයි නේද?” පුතා පිළිතුරු දුන්නේ සැහැල්ලුවෙනි.


Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks
o