Home / විහළු කතා /  හැමදෙයක්ම අත්අරින්ට ඕනෙ

 හැමදෙයක්ම අත්අරින්ට ඕනෙ

2016-08-29 11:03:00       586
feature-top
“කුමාර බොහොම පරිස්සමෙන් ඩ්‍රයිව් කරන කෙනෙක්නෙ. ඉතින් කොහොමද අනේ මේ වගෙ ඇක්සිඩන්ට් එකක් වුණේ?” ආරෝග්‍යශාලාවේ ඇඳක වැතිර සිටි කුමාරගේ බිරිය ඩල්සි ගෙන් රීටා විමසුවේ ඇගේ සුරත අල්ලා ගනිමිනි.

“ඊයේ අපි කොළඹින් ටිකක් ඈත භාවනා පන්තියකට ගියානෙ රීටා. ජීවිතේ හැම දෙයක් ගැනම තියෙන ආසාව, තන්හාව අතහැරියාම පුදුම සැහැල්ලුවක් දැනෙනවයි කියල හාමුදුරුවෝ අනුශාසනාවක් කළේ භාවනාවට කලින්.

භාවනාව ඉවර වුණාමත් හාමුදුරුවෝ ඒ කාරණාව අවධාරණය කළා. ඊට පස්සෙ තමයි අපි ආපසු කොළඹ එන්ඩ පිටත් වුණේ” ඩල්සි කීවාය.

“ඉතින්...?” රීටා ඇසුවේ නොඉවසිල්ලෙනි.

“ඉතින් අර හාමුදුරුවන්ගේ අනුශාසනාව කුමාර බොහොම තදින් හිතට අරගෙන තියල මට තේරුම් ගියෙ. ‘අපි හැම දෙයක්ම අතහරින්ඩ ඕනෙ...’ කියල වාහනේ පදවන ගමන් ම කුමාර කීප සැරයක් ම කියපු හින්දා. එහෙම කිය කියා ඉඳලා කුමාර එක පාරටම කාරෙකේ සුක්කානම අතහැරියා අනේ. එතකොට තමයි වාහනේ පාරෙන් පිටට පැනලා ‍‍ ‍ඩෝං ගාලා පොල් ගහක හැපුණේ.” ඩල්සි වේදනාවෙන් කීවාය.

ආවේ ඒකයි

ඉරිදා උදේ තේ පානයෙන් පසු සාලයේ සැප පුටුවක ඈඳි ගෙන සති අන්ත පුවත්පතක් කියවමින් සිටි පෙ‍රේරා ගේට්ටුවේ විදුලි සීනුව නාද වෙනු ඇසී නැගිට්ටේ කම්මැලිකමිනි. ඉස්තෝප්පුව පසුකොට ප්‍රධාන දොරෙන් පිටවී නිවසේ පඩිපෙළ බැස ගෙවත්ත හරහා ගොස් හේ ගේට්ටුව ඇරියේ ඈනුමක් හරිමිනි.

“සුබ උදෑසනක් වේවා මහත්මයා. මේ ලේන් එකේ ගෙවල්වල ඉන්න නෝනා, මහත්වරු කොයිතරම් සංග්‍රහශීලී ද කියල සමීක්ෂණයක් කරමිනුයි මම මේ මහත්මයගෙ ගෙදරටත් ආවේ.”

බැරෑරුම් ස්වරයකින් කිය‍ූ සිඟන්නෙකු පෙරේරා වෙත තම අතේ තිබූ බෙලෙක් ‍කෝප්පය දිගු කෙළේ ය.

මම නං එහෙම නැහැ

‘අපේ මිනිස්සු හරිම අකෘතඥ ජාතියක් බං. මම කොයිතරම් නං මිනිස්සුන්ට උදව් කරලා තියෙනවද? මම අර මන්ත්‍රීවරයෙක් ගෙ ලේකම් වෙලා හිටිය කාලෙ මගෙන් බොහොම ලොකු උදව් ගත්ත සමහරු පාරෙදි ඉස්සරහට හම්බ වුණාම හෙමීට අහකබලාගෙන යනවා. හැබැයි පුතේ, අපේ ගෙදර බල්ලානං එහෙම නෑ. ඌ මාව දැකපු ගමන් ළඟට දුවගෙන එන්නෙ කෙලවරක් නැතුව වලිගෙ වන වනා.” චන්ද්‍රසිරි, විජිත සමඟ කීවේ කතාබහක යෙදී සිටියදී ය.‍

“මං ගැන නං කීයටවත් එහෙම හිතන්ඩ එපා අයියෙ. අනේ අම්මපා! මට වලිගයක් ‍එහෙම තිබුණා නං ඔයාව දැක්කාම මම ඒක වනනවා. එපයි කියනකං...” විජිත කීවේ තමාහට ටෙලිනාට්‍යයක රඟපෑම සඳහා අවස්ථාවක් ලබාදුන් චන්ද්‍රසිරි වෙත කෘතඥතා පූර්වක බැල්මක් හෙළමිනි.

More News »