Home / විහළු කතා / නාරාහේන්පිට අභයාරාම පටුමගේ හරකුන් ඇල්ලීම

නාරාහේන්පිට අභයාරාම පටුමගේ හරකුන් ඇල්ලීම

2015-06-01 09:51:00       586
feature-top
බාලවියේදී අප ශරීර ප්‍රමාණයෙන් පුංචි වූවාසේම අපගේ ළමා ලෝකයද ඊට සරිලන අයුරින් කුඩාවට තිබි ඇතිබැව් අපිට ප්‍රත්‍යක්ෂ වන්නේ තරමකට වැඩුනු කල්හිය. එංගලන්තයේ එලිසබෙත් රැජින මුලින්ම ලක්දිවට පැමිණ ඇත්තේ වසර 1954 දීය. ඊට අදාළ සිදුවීම් දෙකක් යම් පමණකින් මට සිහිපත් කළ හැකිය. පළමුවැන්න, ඇය සපැමිණි දින දහවලට ආසන්නයේ අප නිවසට ඉහළ අහසේ ඉතා පහළින් විශාල හඬක් නගමින්, වේගයෙන් ඇදී ගිය අහස් යාත්‍රා පෙළය. ඒ ඇයට ආචාර පිණිස ගිය හෝ ඒ නිමිති කොට වූ පෙරහුරු පියාසර කිරීමක් වන්නට ඇත. ඒවා අපගේ හිස් මතින් ඇදී ගියා සේ දැනිනි. දෙවැන්න, එදිනම හෝ ඊට පසුදින රාත්‍රියේ, ඇගේ සම්ප්‍රාප්තියට සුදුසු උත්සවාකාර පරිසරය මැවීම පිණිස විදුලි බුබුලු නේක පැහැයෙන් දීප්තිමත්ව දැල්වී තිබූ අයුරුය. එය මට දැනුනේ, මුළු අහසම දිදුලන විදුලි බුබුළිින් විසිතුරුව සරසා ඇති සේය.
එයින් වසර කීපයකට පසු, ආකාශය, නැවතත් මා විමතියට පත් කළේය. එක්තරා දවාලක් හදිසියේම සැඳෑවක් බවට පත් වීමේ අරුමය ඇති කළ සූර්යග්‍රහණයක් කරණකොටය. සිහිල් යයි හැඟෙන, දැනෙන, කියැවෙන සඳෙහි සෙවණැල්ල, ගිනියම් හිරු මතට පතිත වූ දුලබ අවස්ථාවකදී, සූර්යයාගේ රශ්මිය සහ දීප්තිය සෑහෙන ප්‍රමාණයකට වසන් වී ඇති වූයේ චමත්කාර ජනක විචිත්‍රත්වයකි. එසේ තවාකාලිකව අඩපණ වු හිරු දෙස පවා පියවි දෑසින් බැලීිම දෙනෙතට අහිතකර බැව් තාත්තා හා වැඩිහිටියන් අතර වූ කතාබහින් පසක් වුණි. එදා වර්තමානයෙදී මෙන් විවිධ සිදුවීම් බහුලව සන්නිවේදනය නොවූ යුගයකි. එබැවින් මේ අරුම වූ සූර්යග්‍රහණය දැකගනු වස් කල්තියා වූ වෙසැසි උනන්දුව, සූදානමක් රටෙහි තිබූ බැව් පැහැදිලිය. සූර්යග්‍රහණය දෑසට දෝෂයක් නොවන පරිදි නැරැඹීම සඳහා තැනූ, කාඩ් බෝඩ් ඇඳි සහිත විශේෂ අව්කණ්ණාඩි කුට්ටමක් මගේ අයියාට කාගෙන් හෝ තෑගි ලැබි තිබුණි. හිරුගේ වට ප්‍රමාණය කමෛන් කමෛන් කුඩාවීම සහ නැවත සඳුගේ ග්‍රහණයෙන් ක්‍රමානුකූලව මිදී ප්‍රකෘතියට පත්වන අයුරු අපි මාරුවෙන් මාරුවට ඒ තුළින් නැරඹීමු.
මුහුණ සෝදන ඉනැමල් බේසන්වලට ජලය පුරවා, ඊට රොබින් නිල්කුඩු දියකළ අම්මා, එකී නීල ජලයට වැටුණු විකෘතියකට බඳුන් වූ හිරුගේ ඡායාව බලන්නට කාට කාටත් ඉඩ සලසා දුන්නාය. ඇතැම්හු තදින් වර්ණ ගැන්වුණු බෝතල් කටු  තුළින් ද තවත් සමහරු වීදුරු කැබැල්ලකට පහන් දැළි තවරා ඒ ඔස්සේද සූර්යග්‍රහණයේ විවිධ අවස්ථා නැරැඹූහ.
එය නරඹා ඉන්පසු වදකහ යුෂ බිමෙන් වඩාත් රූමත්වන බවට පැතිර තිබූ කටකතාවකට අනුව ඇතැම් කාන්තාවෝ එය ප්‍රායෝගිකව අත්හදා බැලූහ. ඔවුන්ගෙන් වැඩි පිරිසක් රෝගාතුර වී, විවිධ අපහසුතාවලට පත් වූ අයුරු අම්මාත් අක්කලාත් ඉන් දින කිහිපයකට පසු කතා වූ බැව් මට මතකය. පසුව බිව්ව නේද වදකහ සුදිය නම් බයිලාවක් ප්‍රකට වූ අතර මඟුල් ගෙවල්වල යකඩ කටවල් තුළින් එය එකල නිතර ඇසෙන්නට වූයේය.
අම්මා විසින් ‍පෝච්චියක සිටුවන ලද වදකහ පඳුරක් එකල අප නිවසෙහි මිදුලෙහි තිබුණි. එහි සිහින් දිගටි පත්‍ර ‍පොඩි කළ කල්හි නැහැයට දැනුණේ අපූරු සුවඳෙකි. දිනක් අප වත්තට ඉතා වේගයෙන් දිව ආ බල්ලෙකු එහි ‍පෝච්චියේ හැපී මර හඬ දෙමින් පෙරළා ඉවතට දිව ගියේය. පැත්ත වැටී තිබූ ‍පෝච්චියේ කොටසක් කැඩී බිඳී තිබූ අයුරු අපි පසුව දුටිමු.
නිශ්චිත අරමුණක්, ගමනක් නොවුවද බල්ලෝ සෙමින් නොයති යැයි කියමනකි. මහ මගදිවෙන වාහන පිටුපසින් බුරමින් මඳ දුරක් එලවා යන ඇතැම් බල්ලෝ එදා මෙන් අද ද සිටිති. මෝටර් සයිකලයක යමින් සිටි සුදු ජාතික යුවළක් පසු පසද එබඳු බලු පැන්නීමක් සිදුවන්නේය. ඉන් නතර නොවූ සුනඛයා සුදු කතගේ පාදයක් සපා කන්නේය. පිස්සු බලු රෝගය වැළඳී  දින කීපයකට පසු ඇය රෝහ‍ලේ දී මිය යන්නීය. සිය බිරිඳගේ වියෝවෙන්  කම්පනයට පත් වන සැමියා දඩාවතේ යන බල්ලන් තුරන් කිරීම පිණිස, කොළඹ නගර සභාව හා එක්වී කිසියම් වැඩපිළිවෙළක් අරඹන්නේය. එදා අද මෙන් දඩාවතේ යන බල්ලන් එන්නත් කිරීමේ හෝ බැල්ලියන් වඳ කිරීමේ ක්‍රමවේදයක් නුවූයේය.
මා බාල අවධියේ මගේ මව පැවසු නේක වූ කතා අතරට තුනී වූ මතකයෙන් හෙබි ඉහත කී සිද්ධියද ඇතුළත්ය. එය ලක්දිව බ්‍රිතාන්‍යයට යටත්ව පැවැති යුගයේ වූ සිදුවීමෙකි.
මහ මග නිදැල්‍ලේ යන බල්ලන් කිසිවෙකු විසින් මන්දකට හසු කොටගෙන එසැණින් ඒ අසල නවතාගෙන සිටින නගර සභාවට අයත් වෑන් රථයක වූ කූඩුවකට වැරෙන් විසිකොට දමා ගන්නා අවස්ථා, ළමා වියේදීත්, නිතර මම දැක ඇත්තෙමි. ඒවා වර්තමානයේදී කතාබහට ලක්වන සුදු වෑන් තරම් විශාල නොවීය. කොමර්  වර්ගයට අයත් එකී රථ තද නිල් හෝ කොළ පැහැයෙන් යුක්ත වූයේය. සුනඛයන් පමණක් නොවේ, මහ මග දෙපස ගැවසුණු තණ උලා කෑ ගවයින්ද ඒ අයුරින්ම අල්ලා ගැනිණි. අල්ලා ගත් හරකුන් රැගෙන යෑමට විශේෂයෙන් තැනූ මැදිරියක් ඇමුණු රථයක් වූයේය. එය කොටස් තුනකින් සමන්විතය.
වර්තමාන ත්‍රිරෝද රථවල මෙන් ඉදිරියට නෙරූ තනි රෝදයක් සහිත මුල් කොටස රියැදුරුට පමණක් වෙන්ව තිබිණි. ඊට පසුපසින් සිව්දෙනකුට පමණක් රැඳී සිටිය හැකි තීරුවකි. එම කොටසෙහි දෙපසට දොරවල් නොමැත. වහ වහා රථයෙන් බැස ගැනීමට පහසුවීම සඳහාය. හෙමිහිට ඇදෙන රථයේ වටකුරුවට නවාගත් කඹ අතැතිව සිය හරක් ගොදුරු ගැන විපරමින් හරක් අල්ලන්නෝ ඒම කොටසෙහි සූදානම් ශරීරයෙන් රැඳී සිටිති.
තෙවනුව රථයට ඇමුණු ගවයින් සිව්දෙනකු පමණ සිරකොට තැබිය හැකි විශාල පෙට්ටියක් බඳු ජංගම මැදිරියය. හසුකොටගත් සුනඛයින් පරිදිම ගවයින්ද එම මැදිරියට විසිකොට ගතනොහේ. එකී ඇමුණුම් මැදිරිය පිටුපස ඇතිව විශාල දොර විවෘත කළ යුත්තේ ඉහළ සිට ‍පොළවටය. කොටු වූ ගවයින් බිමට දිගා කරන ලද දොර මතින් ඊට ඇතුළු විය යුතුය. සිර වී අසරණ වූ හරකුන් එකී රථයට ගොඩවීම, සිය දිවියේ අවසානය අසබඩට යෑම බැව් ඉවෙන් මෙන් වටහා ගත්හ. මුත්‍රා හා ගොම හලමින් එහි ගාල් වීම මගහැරීමට උන් අපමණක් යත්න දැරූහ. ඊට ඉඩ නොතැබූ රථයේ වූ පිරිස ඉතා ගොරහැඩි ලෙස ගවයින් කෙසේ හෝ ඇමුණුම් කුටියට දමා ගත්හ.
නාරාහේන්පිට අභයාරාම පටුමගෙහි විසූ නිසි රැකියා නොලද බොහෝ තරුණ පිරිස් කිරුළ පාරේ වූ අගෝස්තීනු අයියාගේ මාරගහ යට කඩය අසල හා ඒ අවට තැනින් තැන කාණ්ඩ ගැසී සිටීමද එකල සුලබ දසුනෙකි. බල්ලන් හරකුන් අල්ලා ගැනීමට පැමිණෙන නගර සභා රථ දුර තියා හඳුනා ගන්නා මේ පිරිස් කඩිමුඩියේ කෑ ගසා අවට සිටි හරකුන් බල්ලන් මග දෙපස වූ හිස් බිම් කඩවෙත හෝ වෙන මොන යම් ඉසව්වකට පන්නා දැමීමට පුරුදුව සිටියහ. දිනක් අපේ ගෙවත්තට දිව විත් වදකහ ‍පෝච්චියේ හැපී වේදනාවේ කෑ මොර දුන්නේ එවන් බලු නාම්බෙකි. පහු පහු වන විට නගර සභා රථවල ආ සතුන් අල්ලා ගැනීමේ පිරිසගේ ප්‍රයත්න බෙහෙවින් අසාර්ථක වුණි. ඇතැම් විට එකී වෑන් රථ සැඟව සිට කිසිවෙකු එල්ල කළ ගල් පහරවලටද ලක් විය.
අල්ලා ගත් ගවයින් සහ සුනඛයින්ට හිමිකරුවන් සිටී නම් ඔවුන් නිශ්චිත දින වකවානුවකට පෙර නගර සභාවට දඩ මුදලක් ගෙවා සතුන් බේරා ගත යුතු විය.බේරා නොගත් බල්ලෝ ගෑස් කාමරයේදීත් ගවයෝ මස් මඩුවේදීත් අවසන් ගමන් ගියහ.
සුනඛයින් ගැන අම්මා කියූ තවත් අපූරු කතාවක් ද වූයේය. ඇය කුඩා කල ඇගේ ගම් පළාතේද දඩාවතේ යන බල්ලන් විනාශ කර දැම්මේලු. තුවක්කුවක් සහ උදැල්ලක් සහිතව පා පැදියක යන පුද්ගලයෙකු නිදැල්‍ලේ මහ මග සිටි බල්ලෙකු දුටු සැණින් නිවැරදි එල්ලය ගෙන ඌට වෙඩි තබා විනාශ කළේලු. ඉක්බිතිව ඒ අසල භූමියේම සතා වළ දැමීලු. එහෙත් සුනඛයාගේ වල්ගය පමණක් කපා ඉවත් කර රැගෙන ගියේලු. එසේ විනාශ කරන බල්ලන් ප්‍රමාණය එකී වලිගයන් ඔස්සේ ගණන් බලා ගම් සභාව වැනි ආයතනයකින් ඔහුට ගෙවීමක් කළේලු. ගම්මු ඔහු හඳුන්වා ඇත්තේ බලු අබරා නමිනි.
මිනිසුන් ශිෂ්ටාචාර වීමේදී මුල සිටම ඔවුනට සහාය වූ සතුන් අතර බල්ලාත් ගවයාත් පෙරමුණ ගත්තේ එදා නගර සභා සේවකයන් ඉතා කුරිරු ලෙස මේ සතුන් අල්ලා ගෙන යන විටදීත් මා අහස දෙස බැලුවාදැයි මට මතක නැත.

Wmqgd .ekSu ,lau mqj;a m; weiqfrks

More News »