Home / විහළු කතා / පළමු වසරේ ගෝත්‍රිකයෝ

පළමු වසරේ ගෝත්‍රිකයෝ

2015-06-01 09:49:00       586
feature-top
බකට් දවසින් රැග් සීෂන් එක අවසන් වන්නේය. බකට් දවස යනු මුළු විශ්ව විද්‍යාලයම සිත්සේ ජලස්නානය කර ගන්නා දවසයි. මේ අනේ‍යා්න්‍ය ජල ප්‍රභර්ෂය ලංකා විශ්ව විද්‍යාල ප්‍රජාව වෙත එවනු ලැබුවේ එකල බරණැස් නුවර දිසාපාමොක්ගේ තක්සලාවෙන් හෝ ලක්දිව දොරමඬලාවේ පණ්ඩුල බ්‍රාහ්මණගේ බමුණු පාසලෙන්වත් නොවේ. එය හාවඩ්, ඔක්ස්ෆර්ඩ්, සෝබෝන් ආදී යුරෝපීය විශ්ව විද්‍යාල සංස්කෘතියේම දේශීය අනුවර්තනයකි. යුරෝපීය සම්ප්‍රදාය හටගෙන ඇත්තේ ද ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පැවැති ඇරිස්ටෝටල්ගේ ලයිසියම් ඇකඩමියේ ආදි පිළිවෙත් අනුව යැයි පැහැදිලි කිරීමක්ද නැත.
ප්‍රංශ විප්ලවයෙන් පසු ඇමෙරිකාව ඇතුළු යුරෝපයේ බොහෝ රටවල්වල ලිබරල්වාදී ආකල්ප වර්ධනය වන්නට පටන් ගත්තේය. රුසියානු විප්ලවය විසින් 20 වැනි ශතවර්ෂයේදී සමානාත්මතාව, පරමාධිපත්‍යය ඇතුළු සමාජවාදී අදහස් ලොව පුරා ප්‍රචලිත කරන ලදී. එහෙයින් බටහිර විශ්ව විද්‍යාලවලදී ශිෂ්‍ය සමානාත්මතාව උදෙසා ඔවුහු ෂැම්පේන් කැඩුවෝය. ෂැම්පේන් වලින් නා ගත්තෝය. ක්‍රිස්තු පූර්ව 5 වැනි සියවසේ ග්‍රීසියේ ඇතෑන්ස් නුවර දියෝනීස මධුපානෝත්සව පූජා කර්මයේදී මුද්‍රික පානයෙන් නාවා ගත්තා සේ 20 වැනි ශත වර්ෂයේදී බටහිර විශ්ව විද්‍යාලවල ‍‍‍ජ්‍යෙෂ්ඨ සිසුහු නවකයින්ව ෂැම්පේන්වලින් නාවා පිළිගෙන මිත්‍ර කරගනු ලැබූහ.
ග්‍රීසියේ දියෝනීස ඩිතිරැම්බයේදී මෙන් ලංකාවේ අපට මුද්‍රික පානය නැත. බටහිර මෙන් ෂැම්පේන් වැනි වරුසද නැත. මධ්‍ය කඳුකරයේ සිට මුහුදට ගලා බසින අරීය ජලවහන පද්ධතියක් ඇති ගංගා, නිම්න, වාපි සහ වැසි ජලයෙන් ගොවිතැන් කොට බත් කන ඝර්ම කලාපීය කෘෂි රටක් වූ අපි සිලි සිලි බෑග්වලට පුරවා ගත් පයිප්ප වතුර නවකයින්ගේ ඇඟට හලා ෂැම්පේන් තෘප්තියක් ලැබ ගන්නෙමු.
බකට් දවස කොයිතරම් පීඩාකාරී වුවත් එහි අභ්‍යන්තර සතුටක් තිබේ. බකට් දිනය වනාහි නවක වදය අවසන් වන දවසයි. පීඩාකාරී, කෝලකාරී වධ බන්ධනයෙන් පිරි හීනමානික කන්දොස්කිරියාව ඉවත් වීම වනාහි නවකයකුගේ හිතට පුදුමාකාර මිහිරක් එක් වන දවසකි. පාසල් ජීවිතයේ සහ ප්‍රාදේශීය ඇසුරේදී කොයිතරම් හපන්කම් ඇති පෞරුෂධාරි යෞවනයකු වුවත් විශ්ව විද්‍යාල නවක වදයේදී බෙලහීන ස්වයං පීඩිත මනෝ භාවයකට පත්වනු වැළැක්විය නොහැක.
විශ්ව විද්‍යාල ප්‍රවේශ ලබන ශිෂ්‍ය ගණයෙන් සියයට අසූවක් පමණ දෙනා දුප්පත් අහිංසක ගැමි තරුණ තරුණියන්ය. උසස් පෙළ අවදියේ සිටම අනේක විධ සමාජ අසාධාරණයන් භුක්ති විඳින ඔහු විශ්ව විද්‍යාලයේ ගේට්ටුව පියමනින්නේම තව් මැරුණු වෙහෙසක් විඳ හමාරවය. වධ දීමෙන් වෙනස් කරගත යුතු ගෙදරින් ගෙනා පුද්ගල ආඩම්බරයක් ඔහු සතුව නැත. ටියුෂන් මාස්ටර්ලා දුන් සන්තාපය ඇඳගෙන විභාග දෙපාර්තමේන්තුව සමග යුද වැදී ඔද්දල්ව සිටින නවක සිසුවාට විශ්ව විද්‍යාලයේ පවතින උප සංස්කෘතිය ග්‍රහණය කර ගැන්මට වසර කීපයක් ගත වෙයි. නවක වදයේ මාරාන්තික ඉන්ජෙක්ෂන් එකෙන් ඔවුන්ට මේ උප සංස්කෘතිය බලහත්කාරයෙන් එන්නත් කිරීමට ‍‍‍ජ්‍යෙෂ්ඨයින්ට නොහැක.
රීඩ් මාවතත් තර්ස්ටන් පාරත් අතර ත්‍රිකෝණ තුම්මුල්‍ලේ සිට කේ.ජී. ශාලාව දක්වා පැතිරී ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාපිටියයි. එහි පිරී ඉතිරී සිටි නවක, ‍‍‍ජ්‍යෙෂ්ඨ සිසුහු සිත් සේ ජල ප්‍රහර්ෂය විඳ ගත්තෝය. සිලි සිලි බෑග්වලින් පටන් ගෙන ප්ලාස්ටික් බාල්දි, ටින් බාල්දි, කක්කුස්සි බාල්දි දක්වා පැතිර ගිය බකට් ආම්පන්නය අවසන් වන්නේ ලොකු හෝස් බටයකිනි.  පසුකාලීනව ‍පොලීසියේ ප්‍රහාරක ජල ධාරාවලට මුහුණ දෙන්නට අප පුහුණුව ලැබුවේ බකට්දා හෝස් පහරින් යැයි පනාපුත්‍රට දැන් සිතේ.
ඇඳි වත පිටින් දියෙන් නෑවී ගත් කෙල්ලෝ, කොල්ලන්ට ශෘංගාර දර්ශනයක්ද වූවෝය. ඉන් හිත කිළිටි කරගත් සමහර නොසන්ඩාල කොල්ලෝ කෙල්ලන්ගේ ගවුම් කර අස්සටද හොස් බටය රිංගවා පෙඟෙව්වෝය. සමහර හැඩැති කෙල්ලෝ පෙඟී ගිය පීන පයෝධර හා පුළුලුකුල වස්ත්‍රයෙන් විනිවිද පෙනෙන සේ ජල මල් යට කෙළිලොල් වූවෝය. හැඩ මඳ කෙසඟ කෙල්ලෝ උන්ට බැණ වදිමින් මුලු ගැන්නී  බකට් හැරීලාට උරණව සදාචාර සිරිත් මල්දම් ගෙතුවෝය.
ඉන්පසු එළඹෙන්නේ සෝෂල් දිනයයි. එය නවක සිසු සිසුවියන්ගේ වර්ණ රාත්‍රියයි. තිලකසිරිලාගේ, ඕබ්‍රිස්ලාගේ සංගීත කණ්ඩායමේ පූර්ණ කාලීන සාමාජිකත්වයට පනාපුත්‍ර පත්වූවේ මේ වර්ණ රාත්‍රියේ හැකියා දැක්වීමෙන් ලබාගත් ලකුණුවලට පින් සිදුවන්නටය. සියලුම නවකයින්ට නව කලාගාරය දෙවනත් වන්නට හූ හඬ ලැබෙයි. පනාපුත්‍ර වේදිකාවේ හිටගත් කල ද එන්.ඒ.ටී. එකේ උළු උඩ යන්න හූ මුරයක් ආවේය. මම ගීතය පටන් ගතිමි. හුලවාලි චිත්‍රපටයට සුනිල් එදිරිසිංහයන් ගායනා කළ කුඩා ගමේ මද්දහනේ ගීතය මම ඉතාම හැඟීම්බරව ගායනා කළෙමි. නව කලාගාරය මීයට පිම්බාක් සේ නිහඬ වූ නවක ගායනය එය යැයි ඕබ්‍රිස් මා වැළඳගත්තේය.
විශ්ව විද්‍යාලය උප සංස්කෘතියක් බිහි කරන්නේ එය පූර්ණ කාලීන නේවාසික උසස් අධ්‍යාපනයක් වන නිසාය. පනාපුත්‍රට රාගම ‍පොඩි වී කුඹුරේ සිට දිනපතා එන යන විශ්ව විද්‍යාල ගමන කන්දොස්කිරියාවක් වන්නට පටන් ගත්තේය.  අපේ ගමේ බොහෝ දෙනා එදිනෙදා රස්සාවට යන්නේ එන්නේ කොළඹටයි. කෝච්චිය අපේ ඒකායන ගමන් මාධ්‍යයි. කොටුවේ සිට මීගමු බස් පාරේ මහබාගෙන් බැස එතැන් සිට යළි අතුරු ගමන් බස් රථයක රාගමට එන වට රවුම අප භාවිතා කරන්නේ ඉඳහිට සිදුවන දුම්රිය වර්ජනයේදී පමණි.
‍පොඩි වී කුඹුරේ සිට කපුවා වැව පාර දිගේ පයින් අවුත් සිග්නල් කණුව ළඟින් රේල් පාරට ගොඩ වී සිල්පර කොට දිගේ දුම්රිය ස්ථානයට ඒම අපේ සුපුරුදු මාර්ග තරණයයි.  රේල් පාරේ ගමන් කිරීම නීතියෙන් තහනම්ය. අන්තරාදායකය. එහෙත් අරලිය උයන දිගේ වට රවුම් නොගොස් දුම්රිය ස්ථානයට කෙටියෙන්ම ළඟාවිය හැකි අනතුරු පාර අප අත්හැරියේම නැත. මේ රේල් පාරේදී කෝච්චියේ හැපී මියගිය අයගේ නාම ‍ලේඛනයේ ‍පොඩි වී කුඹුරේ අය බොහෝ සිටී.
පනාපුත්‍ර නේවාසිකාගාරයට ඉල්ලුම් කළේය. එහෙත් ඉල්ලුමට සරිලන නේවාසික පහසුකම් විශ්ව විද්‍යාල පරිපාලනය පිරිමසා තිබුණේ නැත. අප ඇරියේද නැත. අවසානයේ  පනාපුත්‍රලාට නේවාසික පහසුකම් ලැබුණේ තුම්මුල්‍ලේ නොව කිංසි පාරෙන්ය. කිංසි පාරේ වෛද්‍ය විද්‍යාලය අසල ඇති තට්ටු තුනේ බ්ලොම් ‍පොන්ටම් නේවාසිකාගාරය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා වෙන්කෙරුණු එකකි. අපේ කරදරය ඉවසා සිටිය නුහුනු විශ්ව විද්‍යාල පරිපාලනය කලා ශිෂ්‍ය පිරිසක් බ්ලොම් හොස්ටල්හි ඉහළ මාලයේ නතර කරනු ලැබුවේය.
අහෝ මේ තීරණයෙන් පාඩු වින්දෝ වෛද්‍ය ශිෂ්‍යයෝමය. වෛද්‍ය ශිෂ්‍යයින් වනාහි ඉතා තැන්පත් හැදියාවක් ඇති ‍පොතේම නෙත ගසා සිටින පාඩම් ලෝභීන්ය. ඔවුන් විනෝදය භුක්ති විඳින්නේ ඉතා අල්ප වශයෙනි. අප ඔවුන්ට මැඩ්ඩෝ කියන්නේ ඔවුන් අපට ආටෝ කියන නිසා මිස වෙන යම් ආරෝවක් සඳහා නොවෙයි.  එහෙත් බ්ලොම් නේවාසික මැඩ්ඩෝ අපට ආටන්ට එහා නමක් පට බැන්දෝය. අප එහි ගොස් මසක් සපිරෙන්නටත් මත්තෙන් ඔවුන් අපට බ්ලොම් බාබේරියන්ස් යන විරුද නාමය පට බැන්දේය. බාබේරියන් යනු ගෝත්‍රිකයායි. විනීත වෛද්‍ය ශිෂ්‍යයින්ට අපව  ගෝත්‍රිකයන් සේ පෙනුණේ හතර වෙනි තට්ටුවෙන් නිතර ඇසුණු කංකරච්චලය ඔවුන්ගේ පාඩමට මහත් වළ කැපිල්ලක් වූ නිසාය.
පනාපුත්‍ර, ජගත්, නයිදුවාවඩු, ජයවීර, අශෝක, පී.ජී. ගුණපාල ඇතුළු ගෝත්‍රිකයින් විස්සක් පමණ නිබඳවම හතරවෙනි තට්ටුවේ සිට ඝෝෂා කළෝය. වෛද්‍ය ශිෂ්‍යයින් ඉවසා සිටියා මිස පරිපාලනයට ර‍පෝර්තු නොකළේ අහිංසක හෝ විනීත කමක් නිසාම නොවේ. අප වනාහි චණ්ඩීන් හෝ මැරයන් විය යුතු යැයි ඔවුන් සිතා සිටි නිසා විය යුතුය.
අප විශ්ව විද්‍යාලයේ සිට බ්ලොම් හොස්ටල් එක වෙත එන්නේ 193 බස් රථයෙනි. එය බම්බලපිටියේ සිට කඩවත දක්වාම යන එන ඉතා මන්දවේගී, අලස සහ අබලි බස් සේවාවකි. තර්ස්ටන් පාරේ කො‍ලේජ් හවුස් අසල බස්නැවතුමේ පැය ගණන් කල්ගත කිරීමෙන් පසුය මී වදය සේ එළියට නෙරා ආ මගී රොත්තේ මා එල්ලෙන්නේ. දිනක් මම බස් නැවතුමේ බොහෝ වේලාවක් බලා සිට අවසානයේ ටකරමේ මලකඩ සූරා කුරුටු ගීයක්  ලීවෙමි.
කපක් කෙළවර කපක් එනතෙක්
බලා සිටියා
 ආවේ නෑ 193
ඉන්පසු අප පා ගමන ඇරඹුවෙමු. රීඩ් පාර දිගේ ටවුන් හෝල් හරහා වෝඩ් පෙදෙසින් කින්සි පාරට පයින්ම ඒම 193 බස් එකේ රස්තියාදු වෙනවාට වඩා ප්‍රණීත අත්දැකීමකි. අපේ බාබේරියන් නඩේ බයිසිකලයක හිමිකාරයෙක්ද සිටියේය. වත්තල බොනිෆස් ප්‍රනාන්දු නම් එවක සිටි සමස්ත ලංකා බයිසිකල් සූරයාගේ ඥාති පුත්‍රයකු වූ  ජගත් චන්ද්‍රසිරි මාලිගාවත්තේ අක්කලාගේ ගෙදර සිට බයිසිකලයෙන් විශ්ව විද්‍යාලයට ආව ද ඔහුත් නේවාසික පහසුකම් ලබා ගෝත්‍රික ආටන්ගේ රැහේ සාමාජිකත්වය ගෙන සිටී. බොනිෆස් ප්‍රනාන්දු සේ බයිසිකල් රේස් පදින්න දිනපතා පුරුදු වන්න සිතා සිටි ජගත්ගේ බයිසිකලය ඌට වඩා පදින්නේ පනාපුත්‍රය. ඉඳහිට හෝ ජගත් මේ බයිසිකලයෙන් විදුලි වේගයෙන් රේස් පැද්දේ ද මා නමැති මිත්‍රයා බාර් එකේ තබා ගෙනයි.
මේ බයිසිකල් දානය කවදා හෝ ජගත්ට ආනිසංස ගෙන දෙන දානමය පුන්‍ය ක්‍රියාවක් වන්නේ යැයි මා ඒ දිනවල කීවේ කට කහනවාටයි. ඒත් ෙදෙවයක මහත ජගත් චන්ද්‍රසිරිගේ පරිපාලන සේවය ඉහළ යාම අද වන විට කවර ආනිසංසයක පවතින්නේ දැයි සොයා බැලූ කල වර්තමානයේ ඔහු ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ධුරය ලබා තිබෙන බව දැනගන්නට ලැබි පනාපුත්‍ර ලබන්නේ අපූරු බයිසිකල් පී්‍රතියකි.
පනාපුත්‍රට ඒ දිනවල අයිවෝ ඩෙනිසුන්ගේ සංගීත පන්තියේ ඉහළ සාමාර්ථයක් ලැබි තිබුණි. කොටුව ශුද්ධ වූ පාවුළු ගොඩනැගිල්‍ලේ පැවැත් වූ රසාංජලි කලා සංවිධානයෙන් නිෂ්පාදනය කළ අයිවෝ ඩෙනිසුන්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය සුමියුරු ගී නමින් ජනප්‍රියව තිබුණි. සුනිල් ශාන්තයන්ගේ රසභාව හඳුනන රසික ජනයා ‍පොදිකමින් ශාලාවල පිරී ලංකාව පුරාම සුමියුරු ගී නරඹයි.
සුමියුරු ගී අත්වැල් ගායනා කණ්ඩායමේ මට සාමාජිකත්වය ලැබි තිබුණි. ශ්‍රී ලාල් නානායක්කාර, සුරූපා ගීකියනගේ, කුමාරි මුණසිංහ සහ පනාපුත්‍ර අයිවෝ සර්ට පිටුපසින් ලා නිල් පැහැති ජාතික ඇඳුම් හා ඔසරි ඇඳ සුනිල් ගී වලට අත්වැල් බැන්දා්ය. කොළඹ පැවති දර්ශනවලට මා නේවාසිකාගාරයේ සිට යන්නේ නම් යන්නේ ජගත්ගේ බයිසිකලයේය. සුනිල් ගී ප්‍රිය කළ ජගත් මා බයිසිකලයේ දමාගෙන ටවර් රඟහලට, එල්ෆින්ස්ටන් එකට හති දමාගෙන රේස් පාගයි.
දර්ශන හමාර වී කේ. ෆ්‍රැන්සිස් මහතා ලබාදෙන ලියුම් කවරයේ වූ රුපියල් දෙසිය පනහ මටත් ජගත්ටත් බඩපිරෙන්න තෝසෙ කා බ්ලොම් බාබේරියන්ස්ලාට වඩේ පාර්සලයකුත් ගන්න තරම් ප්‍රමාණවත්ය. පඩි ගත් තාත්තා මෙන් තෙල් බේරෙන වඩේ පාර්සලයක් සහිතව නේවාසිකාගාරයට පැමිණියද බයිසිකලය මිදු‍ලේ දමා තට්ටු තුන නැග්ග නොහැක. ආරක්ෂක හේතු මත ජගත් බයිසිකලය මිදු‍ලේ නොතබයි. එය කර තබාගෙන තට්ටු තුනම නැග්ග යුතුය. අප දෙදෙනා ඒ කටයුත්ත තට්ටුවෙන් තට්ටුව හුවමාරුවට පැවැතිමු.
සුමියුරු ගී නිමවා පැමිණි එක් දිනක් නේවාසිකාගාරය පාමුලදී මට වස කම්මැලිකමක් ඇතිවිය. රෑ බෝ වී තිබුණත් වෛද්‍ය ශිෂ්‍යයින් බැල්කනිවල පාඩම් කරමින් සිටී. ක්ෂණික තීරණයක් ගත් මම බයිසිකලය බිම අතහැර විශාල කලන්තයකට පත්වී ජගත්ගේ ඇඟ දෙසට කඩා වැටුණෙමි. වඩාත් බිය වූ ජගත්ගේ කෙසඟ ඇඟ මා වත්තම් කරන්නට තනන්නේ මගේ රෝග කාරකය පිළිබඳ ඔහු තුළ උපන් සත්‍ය බිය හේතුකොට ගෙනයි. පළවෙනි තට්ටුවේ බැල්කනියේ සිටි වෛද්‍ය ශිෂ්‍යයා මේ හදිසි අනතුර දුටුවේය. කරුණාවන්ත මෙඩ්ඩා ‍පොත පසෙක තබා ආටාගේ අනතුරට කර දෙන්නට වහාම පහළට දිව ආවේය.
ඒ වන විට මම ජගත්ගේ කරේ එල්ලී පඩි නගිමින් සිටියෙමි. උදව්වට දුවගෙන ආ වෛද්‍ය ශිෂ්‍ය මිත්‍රයාට ජගත් බයිසිකලය පෙන්නුවේ. සංවේදී මිත්‍රයා වහා අවුත් බිම වැටී තිබූ බයිසිකලය කරට ගෙන අපට පිටුපසින් තට්ටු තුනම නැග්ගේය. අවසාන තට්ටුවේදී මා කාමර ගත කොට ජගත් වෛද්‍ය ශිෂ්‍යයාට ස්තුති කොට බයිසිකලය ලබාගෙන කාමරයට එන විටත් මම ඉතා සුවපහසුවට තට්ටු ඇඳේ උඩට ගොඩ වී හක හක ගා සිනා සෙමින් සිටියෙමි.
 යකෝ අරූ බේත් ගේන්ඩ ගියා යැයි ජගත් කීවේය.උඹ බිපං, මං නිදි කියා මම දෑස් පියා ගතිමි.

Wmqgd .ekSu ,lau mqj;a m; weiqfrks

More News »